ජනපති මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක...

මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනපති මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක...

by Staff writer 07-01-2025 | 10:19 PM

COLOMBO (News 1st) - මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ  ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීම කෙරෙහිද මෙහිදී ජනපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර  මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දී.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී  විශේෂ අවධානය යොමු වූ අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආදායම් බදුවලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි.

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා වැට් බදු එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවයි.