![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
මේ අතර මාධ්‍ය සංවිධාන ගණනාවක් අද (05) මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පලකළේ ය.
ලසන්ත ඝාතනය ගැන නීතිපතිවරයාගේ උපදේශය කුමක්ද?
විවාදයට ලක්ව තිබෙන්නේ නීතිපතිවරයාගේ අත්සනින්, ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකි.
මේ ලිපියෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවලට සම්බන්ධ තුන්දෙනෙකුට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපතිවරයා දැනුම්දී තිබිණි.
ප්‍රේම් ආනන්ද උදලාගම, දොන් තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කර නීතිපතිවරයාගේ ලිපියට අනුව මෙලෙස ක්‍රියාකළ යුතු චූදිතයින්.
නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ මේ ලිපියේ පිටපතක් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාටත් යොමුකර අතර එම ලිපියට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය මහේස්ත්‍රාත්වරයාට දැනුම්දී ගත් ක්‍රියාමාර්ගද ආපසු නීතිපතිවරයාට දැන්විය යුතුයි.
කවුද මේ චූදිතයින්?
ප්‍රේම් ආනන්ද උදලාගම යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සමාජිකයෙක්.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරු ලෙස සේවය කළ දේවමුල්ලගේ කරුණාරත්න පැහැර ගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් උදලාගමට චෝදනා එල්ලවී තිබිණි.
මීට අමතරව මාධ්‍යවේදීන් වන කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන් පැහැර ගෙන ගොස් පහරදීම ඇතුළු චෝදනා කිහිපයක්ද ඔහුට එල්ලවී තිබේ.
තිස්සසිරි සුගතපාල, ගල්කිස්ස පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා.
ප්‍රසන්න නානායක්කාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.
මොවුන් දෙදෙනාට එල්ලවූ චෝදනාව වූයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කිරීම.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ ඔහුගේ වාහනයේ තිබූ සටහන් පොතේ තිබූ සටහන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබිණි.
නීතිපතිවරයාගේ නිර්දේශයට හේතු වුණේ මොනවාද?
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජික ප්‍රේම් ආනන්ද උදලාගම හඳුනා ගැනීමේ පෙරටුවකදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරු විසින් හඳුනාගත්තද පසුව එම හඳුනා ගැනීම සිදුකිරීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රේම් ආනන්ද උදලාගමව තමන්ට පෙන්වූ බවට රියදුරා ප්‍රකාශකර ඇති බවයි.
තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර යන පුද්ගලයින්ට අපරාධ නඩුවක් ගොනු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි නොමැති බැවින් මෙම නිර්දේශය සිදුකළ බව නීතීපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
අධිකරණයේදී හෙළි වූයේ මොනවාද?
2018 වසරේ ජුනි මස පළමු වැනිදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් වූ හිටපු පොලිස් පරික්ෂක තිස්සසිරි සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු අනාවරණය විය.
තිස්සසිරි සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරසුරිය මහතා එහිදී ප්‍රකාශ කළේ, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අවස්ථාවේ ඔහුගේ වාහනයේ තිබූ සටහන් පොතේ සටහන් කර තිබූ යතුරු පැදි දෙකේ අංක සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසට එවක ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර මහතා තම සේවා දායකයාට තර්ජනය කර ඇති බවයි.
එම විමර්ශන ඉදිරියට කළහොත් ලසන්ත වික්‍රමතුංග මහතාට අත් වු ඉරණම තිස්ස සුගතපාල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද අත්විය හැකි බවට ඔහු තර්ජනයක කර ඇතැයි, නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දුන්නේ ය.
නීතිඥවරයා කියා සිටියේ ඒ අනුව අදාළ සටහන් පොත සහ විමර්ශන වාර්තා තම සේවා දායකයා විසින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට භාර දී ඇති බවයි.