ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට..

නිල සංචාරයක් සඳහා ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට..

by Staff writer 10-02-2025 | 6:21 AM

COLOMBO (News 1st) -නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.

ඒ, එරට ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවයි.

එහිදී ජනාධිපතිවරයා ඩුබායිහි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

ඊට එක්වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හමුවීම ද, ජනාධිපතිවරයාගේ සංචාරයේ ප්‍රමුඛ අංගයකි.

එම සාකච්ඡා පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාවට නව ආයෝජන අවස්ථා උදාකර ගැනීමේ අරමුණින් ය.

එක්සත් අරාබි එමීර් ජනාධිපති, උප ජනාධිපති සහ අගමැති සමග ද, ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සංචාරය අවසන් කරමින්, ලබන 13 වැනිදා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙයි.