අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්...

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට පැවැත්වීමට නියමිත බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්.

by Staff writer 10-02-2025 | 4:33 PM

COLOMBO (News 1st) - සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සළකා බැලිනි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ.බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බවයි.

එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙබරවාරි 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය පෙබරවාරි 3 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේ ය.