මහින්දගේ නිවසේ ජල කප්පාදුවක් සිදු කළාද?

හිටපු ජනපති මහින්දගේ නිවසේ ජල කප්පාදුවක් සිදු කළාද?

by Staff writer 13-02-2025 | 9:58 PM

COLOMBO (News 1st) –හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ, පලවන වාර්තා අසත්‍ය බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිග මුදල් නොගෙවීම මත අද දින ජල සැපයුම විසන්ධි කර ඇති බවත් , නමුත් එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ස්ථානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිට ඇති අතර 2024 ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් ඉන් ඉවත්ව ඇති බව මෙම නිවේදනයේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදාල ස්ථානයෙහි දැනට සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කරුනු විමසා ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එවිට අනාවරණය වී ඇත්තේ , මෙම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් හෝ හිටපු ජනාධිපතිතුමා ජලය පරිහරණය නොරකන බවයි.

මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද අනාවරණය වී තිබේ.

මෙම ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මණ්ඩලයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව දැනුම් දී අතර අද දිනයේදී මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් හිග මුදල් ගෙවීම් කරන ලෙස දැනුම් දී තිබේ.

හිග මුදල් නොගෙවීම නිසා අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කළ බව පවසන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කරන්නේ ඒ වනවිට අය විය යුතු හිඟ මුදල රුපියල් 429,000ක් පමණ බවයි.

මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීමෙන් හිටපු ජනාධිපතිතුමාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව ඔවුන් අවදාරණය කරයි.