අධිකරණය නිෂ්ප්‍රභ කළ වෛද්‍ය සමන් රත්නායකගේ පෙත්සම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය නිෂ්ප්‍රභ කරයි...

by Staff writer 04-03-2025 | 4:12 PM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නිෂ්ප්‍රභ කළේ ය.

සමන් රත්නායක මහතා සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අනීතික ලෙස අත්අඩංගුවට ගත් බවයි.

පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල්වල බෙදා හැරීමේ සිද්ධිය දසවන සැකකරු ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා නම් කර තිබේ.