අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳ වැටේ

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳ වැටීමෙන් රෝගී ප්‍රතිකාර වලට බාධා..

by Staff writer 13-03-2025 | 9:29 AM

COLOMBO (News 1st) -

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීය වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී.

අපේක්ෂා රෝහලේ පවතින එවැනි යන්ත්‍ර ගණන 5 කි.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, පසුගිය සතියේ සිට එම යන්ත්‍ර අක්‍රීයව ඇති බවයි.

ඒ හේතුවෙන් දෛනිකව රෝගීන් 250 ක පමණ ප්‍රතිකාර ඇණහිට ඇතැයි ඔහු සඳහන් කළේ ය.

එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්වයට පත්කළ යුතු බවට, කොන්දේසියක් පනවනු ලබයි.

එලෙස සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම් ගත මුදලින් දිනකට සියයට එකක අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතුයි.

එහෙත් පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බව ද, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.