ආපදා අවම කර ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක්

ඉදිරියේදීත් මාතර ගංවතුරට යට වෙයිද? ආපදා අවම කර ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක්

by Staff writer 13-03-2025 | 2:21 PM

COLOMBO (News 1st) –අධික වර්ෂාව සමග ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අදාළ අංශවල නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග  සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.  

නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කර තිබේ.  

සාකච්ඡාවේ දී නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මාතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා පියවර ගැනීමට සියලුම පාර්ශ්ව එකඟවත්වය පල කෙරූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.  

කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස මේ වන විට ගඟෙහි පවතින ගස් ඇදවැටීම් වැනි බාධක ඉවත් කිරීමට සහ ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීමටත්, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු කර ඇති බවටත් මෙහිදී තොරතුරු වාර්තා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

එමෙන්ම, අප්‍රේල් මාසය වන විට නිල්වලා ගං මෝය ගැඹුරු කිරීමටත්, ගංවතුර තත්ත්වයකදී අමතර ජලය තාවකාලිකව රඳවා ගැනීමට හැකිවන පරිදි ඇළ මාර්ග ගැඹුරු කිරීමටත් පියවර ගෙන ඇති බව ද නිලධාරින් දන්වා තිබේ.