ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිවේදනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට තීරණයක් - ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

by Staff writer 31-03-2025 | 6:10 PM

COLOMBO (News 1st) - කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය ස්ථානාධිපති සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් එම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පුරප්පාඩු පවතින බවයි.

ඒ අනුව කඩිනමින් උප දුම්රිය ස්ථානාධිපතිවරුන් 22 කු බඳවා ගැනීමට පියවර ගනිමින් ඇති බව ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ය.

ඊට අදාළ අනුමැතිය මැතිවරණ කොමිසමෙන් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.