සෙට්ටිකුලමේදී අත්අඩංගුවට ගත් සැකකරුට විමර්ශනයක්

සෙට්ටිකුලමේදී පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන

by Staff writer 23-07-2025 | 12:11 PM

COLOMBO (News 1st) - වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයෙන් අත්බෝම්බ 87ක් හා T 56 උණ්ඩ 321 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේද විමර්ශන ආරම්භ කරන බව පොලීසිය පවසයි.

ඒ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගිණුම්වලට අවස්ථා රැසකදි වෙනත් පාර්ශවයකින් මුදල් ලැබී ඇති බව හෙළිවීමත් සමගයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන ත්‍රස්ත මර්දන කොට්ඨාසයට භාර දී තිබේ.

පොලීසිය පැවසුවේ අවි ආයුධ සමග සෙට්ටිකුලමේදි අත්අඩංගුවට ගත් සැකකරු සහ තවත් සැකකරුවෙකු මෙන්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේදි T56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත මර්දන කොට්ඨසයට භාරදී ඇති බවයි.

ඔවුන් පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර T 56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් ගැබක් සහ උණ්ඩ 36ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මොටර් රථයකින් රැගෙන ආ බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ කොම්පඤඤ වීදියේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේ ය.

මෙම සැකකරුවන් කිසියම් ත්‍රස්ත සංවිධානයකට සහය දුන්නා ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අණාවරණය වීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ නිලධාරීන් මගින්ද ප්‍රශ්න කිරිමට නියමිත බවයි.

වව්නියාව සෙට්ටිකුලමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අධිකරණයෙන් වරෙන්තු ලැබූවෙකුද සිටියි.