CMG Cricket League 2025 ශූරතාව Blue Fire කණ්ඩායමට

CMG Cricket League 2025 තියුණු තරගයකින් පසු,මහරාජා ප්‍රධාන කාර්යාලයේ Blue Fire කණ්ඩායමට ශූරතාවය

by Staff writer 26-07-2025 | 10:02 PM

COLOMBO (News 1st) - කැපිටල් මහරාජා සමූහයේ ආයතන අතර සංවිධානය කළ CMG Cricket League 2025 තරගාවලිය අද (26) සාර්ථකව පැවැත්විය.

තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ මහරාජා ප්‍රධාන කාර්යාලයේ Blue Fire  කණ්ඩායමයි.

CMG Cricket League 2025 තරගාවලිය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

එය සංවිධානය කළේ,  කැපිටල් මහරාජා සමූහයට අයත් ආයතනවල කාර්ය මණ්ඩලයේ ක්‍රීඩා කුසලතා ඉහළ නැවීම සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණෙන්.

ඒ සඳහා කැපිටල් මහරාජා සමූහයට අයත් ආයතනවල කණ්ඩායම් 32ක් සහභාගී වූහ.

තරගාවලිය පැවැත්වුණේ ලීග් ක්‍රමයටයි.

ඒ අනුව එක් කණ්ඩායමකට මූලික වටයේ තරග 3කට සහභාගී වීමට සිදුවිය.

අවසන් පූර්ව වටය සඳහා කණ්ඩයම් තෝරා ගත්තේ ඉන් අනතුරුවයි.

බ්ලූ ෆයර් සහ කේ.වී යංග් ෆයිටර්ස්  කණ්ඩායම් අතර එක් අවසන් පූර්ව තරගයක් පැවැත්වුණි.

ඉන් ජය ගත්තේ මහරාජා ප්‍රධාන කාර්යාලයේ බ්ලූ ෆයර් කණ්ඩායමයි.

ටෆ් ලෙජන්ඩ්ස් සහ රියල් ෆයිටර්ස් කණ්ඩායම් අනෙක් අවසන් පූර්ව තරගයට සහභාගී විය.

එම තරගය ජය ගත්තේ අයි.සී.එල් රියල් ෆයිටර්ස් කණ්ඩායමයි.

ඒ අනුව බ්ලූ ෆයර් සහ රියල් ෆයිටර්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය පැවැත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලූ ෆයර්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 95ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  රියල් ෆයිටර් කණ්ඩායමට නියමිත පන්දුවාර 4 අවසානයේදී කඩුල්ලක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 76ක් පමණයි.

ඒ අනුව බ්ලූ ෆයර් කණ්ඩායම ලකුණු 19කින් තරගය ජය ගත්තේ ය.

කැපිටල් මහාරාජා සමූහයේ සභාපති සශී රාජාමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය සිදුවිය.

එම අවස්ථාවට කැපිටල් මහාරාජා සමූහයේ ඉහළ කළමණාකාරීත්වයද සහභාගී විය.

මෙම තරගාවලියට සමගාමීව කැපිටල් මහරාජා සමූහයට අයත් ආයතනවල සහභාගීත්වයෙන් සුවිශේෂී තරග රැසක්ද පැවැත්වීම  විශේෂත්වයකි.

අඛණ්ඩව දෙවැනි වරටත් එහිදී හොඳම කූඩාරමට හිමි සම්මානය දිනා ගත්තේ, ෆොක්ස් රිසෝට් ආයතනයයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ බ්ලූ ෆයර් කණ්ඩායමේ නායක හංසක ජයසේකර.

CMG Cricket League 2025 අනු ශූරතාවය දිනා ගත්තේ අයි.සී.එල් රියල් ෆයිටර්ස් කණ්ඩායමයි.

ඒ අනුව CMG Cricket League 2025 ශූරතාවය දිනා ගත් මහරාජා ප්‍රධාන කාර්යාලය නියෝජනය කළ  බ්ලූ ෆයර්  කණ්ඩායම මෙවර සශී රාජමහේන්ද්‍රන් අභියෝගතා කුසලානය දිනා ගනු ලැබුවේය.