කෙහෙල්බද්දර පද්මේ ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්..

කෙහෙල්බද්දර පද්මේ CID යෙන් පිටතට රැගෙන නොයන බවට දී ඇති ප්‍රතිඥාව දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කෙරේ..

by Staff writer 23-10-2025 | 5:03 PM

COLOMBO (News1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට දී ඇති ප්‍රතිඥාව, දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළේ ය.

ඒ, තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේගේ මව ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී  ය.

අදාළ ප්‍රතිඥාව දීර්ඝ කළේ, පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතාගේ ඉල්ලීමට අනුව, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟතාවයෙන් ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම අද කැඳවනු ලැබුවේ ය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02 වැනිදා කැඳවන ලෙසයි.

රැඳවුම් භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කර,  ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා
කෙහෙල්බද්දර පද්මේගේ මව පෙත්සම ඉදිරිපත් කර තිබුණි.