ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්..

ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්..

by Staff writer 24-10-2025 | 7:28 PM

COLOMBO (News 1st) -ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී සහ ඔහුට  ආධාර  දුන් බව කියන  දේවාල කපුවෙකු වන දිනේෂ් කුමාර නමැත්තා, ලබන 31 දක්වා යළි රක්ෂින බන්ධනාගාරගත කෙරිණ.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ය.

සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අධිකරණය සඳහන් කළේ ය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී  ලොකු පැටී අධිකරණයට ඉදිරිපත් කෙරුණේ සූම් ඔස්සේ ය.

ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල් සැකකාර දේවාල කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ ය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නැමැත්තියගේ ප්‍රකාශයට අනුව ඇය ලොකු පැටී නැමැත්තාගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කර, එම මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව ප්‍රකාශ කළ බව නිලධාරින් කියා සිටියේ ය.

මෙම මුදල් බැර වන්නේ සැකකාර කපුවාගේ දැනුම මත බවත්, මේ ආකාරයෙන් රුපියල් කෝටි 33 කට ආසන්න  මුදලක් තැන්පත් වී ඇති අතර ඉන් කෝටි තිස් දෙකක් චෙක්පත් මාර්ගයෙන් ඔහු ලබාගෙන තිබෙන බවත් නිලධාරීන් සඳහන් කළේ ය.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබී ඇති බවට සැක කෙරෙන බව පෙන්වා දුන් ඔවුන් අදාළ මුදල් යළි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදවා තිබේදැයි වැඩිදුර විමර්ශන කරන බව කියා සිටියේ ය.

මෙම විමර්ශනවලදී තවත් ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත් ඒ හරහා රුපියල් කෝටි 1000 ක් පමණ මුදල් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරුවන් ඇප මත මුදාහැරියොත්, ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙහිදී සැකකාර ලොකු පැටී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් තම සේවාදායකයා මෙරටට රැගෙන ආවේ පසුගිය මැයි මාසයේ බව පෙන්වා දුන්නේ ය.

එම නිසා මෙම මුදල් හුවමාරු වූ බව කියන කාලසීමාවේ ඔහු මෙරට නොසිටි බව සඳහන් කළ නීතිඥවරයා සඳහන් කළේ, තම සේවා දායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඇපමත මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.

සැකකාර දේවාල කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාගේ ගිණුමට බැර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් නොව බැතිමතුන් විසින් දේවාලයට පරිත්‍යාග වශයෙන් දුන් මුදල් බව සඳහන් කළේ ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්ව‍ පැහැදිලි කරමින් තමන් ලිඛිත නියෝගයක් දීමට අපේක්ෂා කරන බවයි.