ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළට..

by Staff writer 15-12-2025 | 7:29 AM

COLOMBO (News 1st) -ඔස්ට්‍රේලියාවේ බොන්ඩයි වෙරල තීරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අතර වයස අවුරුදු 10ක කුඩා දරියක්ද වන බවයි..

තුවාල වූ පුද්ගලයින් සංඛ්‍යාව 42කි.

වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන වයස අවුරුදු 50ක සහ 24ක පුද්ගලයින් දෙදෙනා, එකම පවුලේ පියා සහ පුතු බවටද මේ වන විට අනාවරණය වී තිබේ.

50 හැවිරිදි සැකකරු පොලිස් වෙඩි පහරින් මියගිය අතර, 24 හැවිරිදි සැකකරු රෝහල් ගත කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් ය.

ඕස්ට්‍රේලියානු බලධාරීන් නිවේදනය කලේ, වෙඩි තැබීම "ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස සලකා විමර්ශන සිදුකරන බවයි.

ඊයේ යුදෙව් ජාතිකයින්ගේ ආලෝකයේ උත්සවය හෙවත් හනුකා සැමරුමක් අතරතුරදී අදාල වෙඩි තැබීම සිදුවිය.  

වසර 2000කට වැඩි ඉතිහාසයක් ඇති හනුකා උත්සවය සෑම වසරකම නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේ දින 8ක කාලයක් පුරා පැවැත්වෙයි.

ඊයේ බොන්ඩයි වෙරල තීරයේ පැවති හනුකා සැමරුමට පුද්ගලයින් දහසක් පමණ රැස්ව සිටි බව වාර්තා වෙයි.

අදාළ සැමරුම අතරතුරදී නිව් සවුත් වේල්ස් පොලීසියට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වී ඇත්තේ ඊයේ දහවල් 1යි 30ට පමණ බවත් අනතුරුව ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දුන් බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.