අධිකරණය ප්‍රතික්ෂේප කළ පාඨලීගේ රිට් පෙත්සම...

පාඨලීගේ අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ...

by Staff writer 22-01-2026 | 11:10 PM

COLOMBO (News1st) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සම කැඳවනු ලැබුවේ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සිය රියැදුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කර තිබූ බව පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය පෙත්සමෙන් පෙන්වා දී තිබිණ.

එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමාට එරෙහිව යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය, නීතියට පටහැනි බැවින්, තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පාඨලී චම්පික රණවක, පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුවකට අනුව එම පෙත්සම පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව, විනිසුරු මඩුල්ල නිවේදනය කළේ ය.