අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට කණ්ඩායම් 10ක්

අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් කණ්ඩායම් 10ක්...

by Staff writer 14-02-2026 | 8:51 AM

COLOMBO(News1st) - තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් විමර්ශන කණ්ඩායම් 10ක් යෙදවා ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඇතුළ කණ්ඩායම් 10ක් යොදවා ඇති බවයි.

ඊයේ(13) පස්වරු 4.50ට පමණ අකුරගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලේදී සිදු වූ වෙඩි තැබීමෙන් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ මිය ගියේය.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් හා පිස්තෝලයක් භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එලෙස ඝාතනයට ලක් වූයේ අතුරුගිරිය, පෝරේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙකු හා 42 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නීතිඥවරයා ලෙස කටයුතු කර ඇති බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.