2025(2026) අපොස සා/පෙළ විභාගය හෙට

2025(2026) අපොස සා/පෙළ විභාගය හෙට

by Staff writer 16-02-2026 | 10:26 PM

COLOMBO(News1st) -  හෙට ආරම්භ වන 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 26 වැනිදා දක්වා දීප ව්‍යාපාත්ව, පැවැත්වීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව, 451,463 ක්.

ඉන්, තුන් ලක්ෂ 82,249 ක් පාසැල් අයදුම්කරුවන්.

දිවයින පුරා මධ්‍යස්ථාන 3545 කදී විභාග පැවැත්වෙනවා.

අපේක්ෂකයින් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?

මෙවර විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

ඒ කලින් වර්ෂවලට සාපේක්ෂව මෙවර විෂය පෙළගැස්මේ වෙනසක් සිදු කර තිබීම හේතුවෙන්.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීම අනිවාර්යය බව ද ඇය සඳහන් කළා.


ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්
--විභාග දෙපාර්තමේන්තුව මඟින්  නිකුත් කරලා තිබෙන, ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කරලා තිබෙන නිල ෆේස්බුක් අඩවියේ ප්‍රදර්ශනය කරලා තිබෙන කාලසටහන පමණක් භාවිත කරන්න කියලා මම දරුවන්ට මතක් කරනවා.ඔබගේ ප්‍රවේශ පත්‍රයේ සඳහන් කාලසටහනම භාවිතා කරන්න. විශේෂයෙන් පස්වෙනි දවස, හයවෙනි දවස, හත්වෙනි දවස සහ අටවෙනි දවසේ පෙර වර්ෂවලට වඩා වෙනස් ආකාරයට තමයි විෂය පෙළගැස්ම සූදානම් කරලා තිබෙන්නේ. උදෑසන විභාගය ආරම්භ වන්නේ 8:30 ට. සවස විභාගය ආරම්භ වන්නේ පස්වරු 1ට. එබැවින් උදෑසන 7:30 වන විටත්, හවස් කාලයේ විභාගය පවතිනවා නම් පස්වරු 12:30 වන විටත් අපේක්ෂකයන් විභාග ශාලාවලට වාර්තා කරලා තිබෙන්නට ඕන.

මෙවර විභාගයේ අනන්‍යතා පත්‍ර මොනවාද?

ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය විභාගය සඳහා අනන්‍යතා පත්‍ර ලෙස භාවිත කළ හැකි අතර ඒවා අනිවාර්යයෙන් සෑම දිනකම රැගෙන යා යුතුයි.

අනන්‍යතා පත්‍රයක් නැත්නම් කළ යුත්තේ මොකක්ද?


ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්
යම් අපේක්ෂකයෙකුට මේ වනවිටත් අනන්‍යතා පත්‍රයක් නොමැති නම් ඔවුන්ට පුළුවන් ඡායාරූප 2ක් විදුහල්පතිතුමා මගින්  සහතික කරගෙන ඒ වගේම පෞද්ගලික අපේක්ෂකයන් නම් ග්‍රාම නිලධාරී මගින් ඒ ඡායාරූප 2ක සහතික කරවාගෙන විභාගයට තාවකාලික හැඳුනුම්පතක් විදිහට භාවිතා කරන්නට අවසර දීලා තිබෙනවා. 
නමුත් එම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ඔවුන් කැඳවලා විමර්ශනය කරලා තමයි ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව තිබෙන්නේ කියලත් මේ වෙලාවේ මතක් කරනවා.

මේ දේවල් විභාග ශාලාවට ගෙන එන්න තහනම් !

ජංගම දුරකතන, 
බ්ලුටූත් උපකරණ, 
ස්මාර්ට් වොච්
සටහන් සහිත ලේඛන
ටිපෙක්ස්

සෑම පිළිතුරු පත්‍රයකම නිවැරදි විභාග අංකය සටහන් කළ යුතුයි. පැහැදිලි අත් අකුරෙන් පිළිතුරු සැපයිය යුතුයි.

යම් වැරද්දක් සිදු වුවහොත් එය ඉරකින් කපා නැවත පිළිතුරු සපයන්න.

-

විශේෂ විභාග මධ්‍යස්ථාන මොනවාද?

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, මහරගම අපේක්ෂා රෝහල, සහ යාපනය කයිතඩි නෆීර් විශේෂිත පාසල විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටින විභාග අපේක්ෂකයින් සඳහා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇත්තේ වටරැක සුනීත විද්‍යාලයයි.

විභාගය සඳහා සූදානම් කර ඇති විශේෂ සේවා මොනවාද?

විභාගය පැවැත්වෙන අවස්ථාවල යම් ආපදාවක් ඇති වුවහොත්, ඒ වෙනුවෙන් විශේෂ ආපදා සැලැස්මක් ක්‍රියාත්මකයි..ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු පාර්ශව රැසක්ගේ සහභාගීත්වයෙන්.  
ආපදාවක දී විභාග අපේක්ෂකයින්ට දැනුම් දිය හැකි විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

117 (ක්ෂණික දුරකථන අංකය)
0113 66 8020
0113 66 8100
0113 66 8013
0113 66 8010 
එම දුරකථන අංකයි.

හදිසි වැසි තත්ත්වයක් හෝ ආපදා තත්ත්වයක් ඇතිවුණොත් ?


ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් අපි සමග සම්බන්ධවෙලා නිරතුරුවම කාලගුණ තත්ත්වයන් පිළිබඳවත් යාවත්කාලීන තොරතුරු ලබා දෙමින් මේ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දීමට සූදානමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ ඒ සඳහා සූදානම්ව සිටිනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අඛණ්ඩ විදුලි සැපයීම විභාගය පවත්වන සියලුම දිනවල ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් ඔවුන් සමග සම්බන්ධ වෙලා විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුවත් විභාග අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා දීමට සූදානමින් සිටිනවා.
විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද, ක්‍රියාත්මකයි.