දකුණු මුහුදේදී භාරයට ගත් යාත්‍රාවෙන් ගිනිඅවි රැසක්

දකුණු මුහුදේදී භාරයට ගත් යාත්‍රාවෙන් ගිනිඅවි රැසක්

by Staff writer 12-03-2026 | 11:42 AM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කරමින් තිබියදී දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එන ලදී.

නාවික හමුදාව පැවසුවේ, අදාළ යාත්‍රාව සමග ඊට සහය වූ බව කියන තවත් යාත්‍රාවක් ද ගොඩබිමට රැගෙන ආ බවයි. 
 

නාවික හමුදා භාරයට ගත් පළමු යාත්‍රාවේ තිබී T56, M16 ගිනිඅවි සහ පිස්තෝල සොයාගෙන ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළේය. 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ පිස්තෝල 08ක් සහ මැගසින් ද යාත්‍රාවේ තිබී හමු වී ඇති බවයි. 
 

බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය බහාලු උර තොගයක් ද සොයා ගැනුණි. 

එම යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 
 

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කරමින් සිටි බව කියන බහුදින ධීවර යාත්‍රාව මෙරටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැණුනේ, පෙරේදා දිනයේදීය. 

ඒ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. 

එම යාත්‍රාවේ සහායට පැමිණි අනෙක් ධීවර යාත්‍රාව ඊයේ දිනයේ නාවික හමුදා භාරයට ගැණුනි.