පෙට්‍රල් හා ඩීසල් රැගත් නෞකා 4 ක් මේ මාසයේදී මෙරටට

ඉන්ධන රැගත් නෞකා 04ක් මෙරටට: අප්‍රේල් අග දක්වා අවශ්‍ය තොග ඇනවුම් කර අවසන්.

by Staff writer 12-03-2026 | 11:31 AM

COLOMBO(News1st) - මෙම මාසය තුළ මෙට්‍රික් ටොන් 35000ත් 40000ත් අතර ඉන්ධන රැගත් නෞකා හතරක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කළේ, එම නෞකා මෙම මාසයේ 14 - 15 දිනවලදී, 17 - 18 දිනවලදී‍ 21 - 22 සහ 29 - 30 අතර දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවයි. 
 

පළමු නෞකා තුනේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු අතර අවසන් නෞකාවේ ඩීසල් පමණක් රැගෙන එන බවත් සභාපතිවරයා පැවසුවේය. 

ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය. 

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම ඉන්ධන තොග, ගොඩබෑමේදී මිල ගණන් අනුව ලබා ගන්නා බවයි. 

අදාළ සියලු නෞකා ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පැමිණීමට නියමිතය.