ජනපති හා ඉන්දිය අගමැති අතර සාකච්ඡා...

ශ්‍රී ලංකා - ඉන්දියා බලශක්ති සහයෝගිතාව, කලාපීය ආරක්ෂාව තහවුරු කිරිම ගැන ජනපති හා ඉන්දිය අගමැති අතර සාකච්ඡා...

by Staff writer 24-03-2026 | 10:59 PM

COLOMBO(News1st) - ගෙවුණූ පැය කිහිපය තුළ මැදපෙරදිග යුද්ධය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් සාකච්ඡා කිහිපයක් සිදුවිය.

ඉන් පළමු වැන්න දෙරටේ බලශක්ති සුරක්ෂීතතාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මීට ටික වේලාවකට පෙර සිදුවූ දුරකතන සාකච්ඡාවයි.

දෙවැනි සාකච්ඡාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවුණේ අද(24) රාත්‍රියේයි.

මේ අතර චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතරද මීට ටිකවෙලාවකට පෙර සාකච්ඡාවක් සිදුවිය.

මැදපෙරදිග වර්ධනය වන තත්ත්වය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර සිය X ගිණුම හරහා නිවේදනය කළේ, - විශේෂයෙන් ගෝලීය බලශක්ති ආරක්ෂාවට බලපාන බාධාවන් කෙරෙහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කළ බවයි.

එමෙන්ම ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන මුලපිරීම්වල ප්‍රගතියද ඉන්දු ශ්‍රී ලංකා නායකයින් දෙදෙනාගේ සමාලෝචනයට ලක්ව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පැවසුවේ, සමීප සහ විශ්වාසදායක හවුල්කරුවන් ලෙස, බෙදාගත් අභියෝගවලට මුහුණ දීමේදී සමීපව එක්ව කටයුතු කිරීමට අපගේ කැපවීම අපි නැවත තහවුරු කළ බවයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරද මීට ටිකවේලාවකට පෙර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ඇමරිකානු ජනාධීපතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින්  මැදපෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාර්ථක අදහස් හුවමාරුවක් සිදුකරගත් බවයි.

හැකි ඉක්මණින් ගැටුම් අවම කර සාමය යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහාය දක්වන බව මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, ආරක්ෂිතව සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම මුළු ලෝකයටම අත්‍යවශ්‍ය කාරණාවක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ද එක්ස් සටහනක් තබමින් පැවසුවේ ඉන්දු - ඇමරිකා නායකයින් - අතර සාර්ථක සාකච්ඡාවක් සිදුවූ බවයි.

සාමය සහ ස්ථාවරත්වය සඳහා වන උත්සාහයන් සම්බන්ධයෙන් සම්බන්ධතා පවත්වා ගැනීමට එකඟ වන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.