විනාඩි 10ක් තුළ ලෙබනනයේ ඉලක්ක 100කට ප්‍රහාර

ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක්!

by Nadeeshan Meedin 09-04-2026 | 9:56 AM

COLOMBO(News1st) - මාර්තු මාසයේ යළි උත්සන්න වූ ඊශ්‍රායල - හිස්බොල්ලා ගැටුම් හමුවේ එක් දිනක් තුළ වාර්තා වූ දරුණුතම ප්‍රහාර මාලාව ඊයේ(08) වාර්තා විය..

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනනයේ බේරුට් ඇතුළු නගර ඉලක්ක කරමින් ඊශ්‍රායලය විනාඩි 10ක් තුළ ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි.

ඊයේ(08) දවස පුරා වාර්තා වූ ප්‍රහාර හමුවේ මේ වනවිට පුද්ගලයින් 254 දෙනෙකු මිය ගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇතැයි ලෙබනන් සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්තවලට අනුව අද(09) අළුයම 2 වනවිට අවම වශයෙන් පුද්ගලයින් 182නෙකු මියගොස් තවත් 890 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්..

මෙවැනි පසුබිමක අද(09) ලෙබනනයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ, ලෙබනනයේ ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදු වූ මරණ සහ විනාශය ගැන කෝපයට පත්ව සිටින බවයි.

ජාත්‍යන්තර මානුෂීය නීතියට ඇති බැඳීම් තහවුරු කරමින් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් සිදුකොට තිබේ.