SLCricket පරිවර්තන කමිටු සභාපතිගෙන් නිවේදනයක්

ICC රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් කටයුතු කරනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති

by Staff writer 30-04-2026 | 3:36 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින්, ආයතනික සංස්කෘතියට, විනිවිදභාවය,දූෂණයට එරෙහි වීම සහ වෘත්තීයභාවය බද්ධ කිරීම සඳහා කැපවී සිටින බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිත්වය දැරීම සඳහා ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා තමාට ආරාධනා කළ බවත්, ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ ය.

ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමග පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වගකීම භාර ගැනීමට තීරණය කළ බවත් නිවේදනයේ කරමිනි.

නිර්දෝෂී අඛණ්ඩතාවකින් සහ මනා පළපුරුද්දකින් හෙබි පුද්ගලයින් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

එම කණ්ඩායම, ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය කුසලතායන අංශවල දුර්ලභ සංකලනයක් නියෝජනය කරන බව, නව සභාපතිවරයාගේ අදහසයි.

ICC රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණයට එරෙහි වීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් කැපවී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.