අදත් ප්‍රදේශ රැසකට වැසි..

අදත් ප්‍රදේශ රැසකට වැසි..

by Staff writer 07-06-2026 | 7:37 AM

COLOMBO(News1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළංද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කැළණි හා කලු ගංඟාවල ජල මට්ටමේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, කැළණි, කලු, අත්තනගලු හා ගිං ගංඟා ආශ්‍රිතව වෙසෙන ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානයෙන් සිටිය යුතු මට්ටමේ ජල වැඩිවීම මේ වන විට පහත වැටෙමින් පවතියි.