.webp)
-618664.jpg)
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, වොෂින්ටනයෙන් එල්ල වූ දැඩි මිලිටරි තර්ජනවලට විරෝධය පළ කරමින් ඉරාන දූත පිරිස සාකච්ඡා සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි. පසුගිය පැය 24 පුරා එහි සැබවින්ම සිදුවූයේ කුමක්ද?
සම්පූර්ණ විස්තරය මෙන්න:
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සබඳතාවල "නව පිටුවක් පෙරලීමට" සූදානම් බව පවසමින් ඊයේ පස්වරුවේ සාකච්ඡා ආරම්භ කළ ද, එය විනාඩි 80කට වඩා ඉදිරියට රැගෙන යාමට නොහැකි විය. සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Fox News නාලිකාව සහ Truth Social ගිණුම ඔස්සේ ඉරානයට සෘජු ප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ලෙබනනයේ සිටින ඉරාන හිතවාදී හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් වහාම පාලනය නොකළහොත් ඉරානයට දැඩි මිලිටරි ප්‍රහාර එල්ල කරන බවටත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලින් ඇමරිකාවට බදු අය කරන බවටත් ට්‍රම්ප් තර්ජනය කළේය.
මෙම ප්‍රකාශයට ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) දැඩි විරෝධය පළකර ඇති අතර තර්ජන හමුවේ සාකච්ඡා දැඩි මතභේදාත්මක තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වීම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව පවසමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) විසින් ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව නිවේදනය කළේය.
නමුත් ඇමරිකානු ආරක්ෂක අංශ එම ප්‍රකාශය සත්‍ය නොවන බව නිල දත්ත මඟින් සනාථ කර ඇත. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරන්නේ හෝර්මුස් මුහුදු තීරයේ නාවික ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි. CENTCOM දත්තවලට අනුව පසුගිය පැය 24 තුළ පමණක් බොරතෙල් බැරල් මිලියන 17ක් රැගත් වාණිජ නෞකා 55ක් කිසිදු අවහිරතාවකින් තොරව එම මුහුදු තීරය හරහා ආරක්ෂිතව ගමන් කළ බව සදහන්වේ.
දෙරටේ නියෝජිතයින් මුහුණට මුහුණලා කෙරෙන සාකච්ඡා තාවකාලිකව අඩපණ වී තිබුණ ද, කටාර් සහ පකිස්ථාන මැදිහත්කරුවන්ගේ බලපෑම මත තාක්ෂණික කණ්ඩායම් මට්ටමින් තෙල් සම්බාධක ලිහිල් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන මුදල් නිදහස් කිරීම පිළිබඳ වක්‍ර සාකච්ඡා වට මේ වන විටත් ස්විට්සර්ලන්තයේදී ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
