දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්

by Staff writer 22-09-2026 | 7:33 AM

COLOMBO(News1st) - දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය ,පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ එය ඉදිරි පැය කිහිපය තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

එහි සෘජු බලපෑමක් මෙරටට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය පවතින වැසි තත්ත්වයට හේතුවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර , බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ තවදුරටත් යාත්‍රා නොකරන්නැයි, එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

පවතින අධික වැසි සමග කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ ගංවතුර අවධානම් මට්ටමේයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙන්නේ එම ගංගා භාවිතයේදි විමසිලිමත් වන ලෙසයි.  

මේ අතර, අධික වැසි සමග දිස්ත්‍රික්ක හයක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 කට නිකුත් කළ නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

ගාල්ල , මහනුවර , කලුතර , කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් ය.

කොළඹ, ගම්පහ, කළුතර,  ගාල්ල, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සදහා අදියර එක සහ දෙක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර ජනතාවට දැනුම් දෙන්නේ පස් කදු කඩා වැටීම් සහ ඉරි තැලීම් පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් ඔහු පැවසුවේ නායයෑම් අධි අවදානම් ප්‍රදේශවල නිවාස 16,793ක් පිහිටා ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.