පාස්කු දින ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද..

ලෝකයක් කම්පා කළ පාස්කු දින ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද..

by Staff writer 22-09-2026 | 6:25 AM

COLOMBO (News 1st) - 2019 වසරේ පාස්කු ඉරු දිනයේ එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය අගෝස්තු 24 වැනිදා වසර පහකට ආසන්න කාලයක් පැවති එම නඩුවේ විභාගය අවසන් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේ ය.  

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරිණ.

විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව චෝදනා 23,270ක් එල්ල කර තිබෙන අතර මෙම නඩුවේදී පුද්ගලයින් 2,309 දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදී තිබේ.

නඩුවේ එක විත්තිකරුවකු නඩු විභාගය අතරතුර මිය ගියේ ය.  

නඩු විභාගයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් පොලිසියට ලබා දී තිබූ පාපොච්චරණ 10ක් සාක්ෂි වශයෙන් පිළිගැනීමට ද අධිකරණය තීරණය කළේ ය.

ඊට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා යනාදිය ද පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ ය.

ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, කඩු, ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ද පැමිණිල්ල මගින් මෙම නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීම එම නඩු විභාගයේදී දකින්නට තිබු සුවිශේෂී කරුණකි.

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව, මඩකලපුව ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර පුද්ගලයින් 269 දෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් 568 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

නඩුවේ විත්තිකරුවන් වන්නේ  නවුෆර් මවුලවී හෙවත් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර්, මොහොමඩ් සරීපු ආදම් ලෙබ්බේ හෙවත් ගපූර් මාමා, හයාතු මොහමදු අහමදු මිල්හාන්, මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රහිම් සාහිඩ් අබ්දුල් හක්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්, මොහොමඩ් මන්සූර් මොහොමඩ සන්ස්දීන්, අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිදර්වුස්, මොහොමඩ් රාමීස් මොහොමඩ් සාජිත්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි, හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්, මොහොමඩ් සවාහිර් මොහොමඩ් හසන්, මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්, රශීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්, සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි, මොහොමඩ් අමීර් මොහොමදු අයතුල්ලා, මොහොමඩ් අන්සාඩරීන් මොහොමඩ් ඉල්මි හෙවත් ඉල්මි, මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අයයි.