රෝහලේ පිපිරීම විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම සම්බන්ධව විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්..

by Staff writer 27-09-2026 | 7:41 AM

COLOMBO(News1st) - පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ ඊයේ අලුයම සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ෂනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ, පස් දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්ද පත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි රෝහල් සේවකයෙකු මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 6 කි.

මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිද්ධියෙන් තවත් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක්ද පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවුණි.

පිපිරීමට හේතුව, ගෑස් නලයක සිදු වූ කාන්දුවක් බව පොලීසිය සඳහන් කළේ ය.

ඊයේ අලුයම 4 ට පමණ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ  පිපිරීම සිදුව තිබුණි.

පිපිරීමෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුව තිබේ.