ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

by Staff writer 04-10-2026 | 9:10 AM

COLOMBO (News 1st) - මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ,  මහනුවර, කෑගල්ල, මාතලේ හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ⁠මිණිපේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයටත් , මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගග කෝරලේ, සහ ⁠මාතලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කළේ ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ  රඹුක්ක‍න, මාතලේ  දිස්ත්‍රික්කයේ රත්තොට සහ රත්නපුර  දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.