වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්

වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් ඉල්ලයි..

by Staff writer 04-10-2026 | 11:36 AM

COLOMBO (News 1st) - මෙරට වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි මානව හිමිකම් කොමිසම  පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී .බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් ය.

එම කොමිසම සඳහන් කළේ,  වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් නිර්මාණ ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් කළ බවයි.

සමාජ, ආර්ථික කරුණු සහ ආයතනවල බාහිර සංක්‍රමණ හේතුවෙන් මෙරට බොහෝ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයවීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ ය.

එහිදී ගෘහස්ථව සිටින වැඩිහිටියන් මෙන්ම ආයතන වල සේවය කරන වැඩිහිටියන්ද එම ගැටළුවලට මුහුණ දෙමින් සිටින බව සඳහන් ය.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වූ ඒකකයක් ස්ථාපිත කරන්නේ නම් එම ගැටලු විසදා ගත හැකි බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ ය.