.webp)
-625925.jpg)
නාවික හමුදා සේවා කාලය තුළ යෝෂිත රාජපක්ෂට ගෙවා ඇති වැටුප් හා දීමනා රුපියල් ලක්ෂ 51කට අධිකයි.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල හා රත්මලාන ප්රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර තිබේ.
නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේයි.
එහිදී රජයේ අධි නිතීඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීමෙන් නාවික හමුදා නිළධාරී ධම්මික ප්රියදර්ශන වික්රමආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල කාලයේ ගෙවා ඇති මාසික වැටුප රුපියල් දාසයදාස් තුන්සිය අනූවක් බවයි.
එම නාවික හමුදා නිලධාරියා සාක්ෂි ලබා දුන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්රැවිස් සින්නයියා වෙනුවෙන්.
එහිදී ඔහු ප්රකාශ කළේ, 2006 දෙසැම්බර් 14 වැනිදා සිට 2026 පෙබරවාරී 28 දක්වා සේවය කළ යෝෂිත රාජපක්ෂගේ මාසික වැටුප රුපියල් 16,500ක් බවයි.
ඉන් රුපියල් 110ක් කැපී ඇති අතර, රුපියල් 16,390ක මුදලක් වැටුප ලෙස ගෙවා ඇතැයි, නාවික හමුදා නිලධාරීයා සාක්ෂි දෙමින් පැවසීය.
සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ තරුණ නිළධාරීන්ගේ පුහුණුවට යෑම උදෙසා අවශ්ය මුදල් ඉල්ලා සිටිමින් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 2014 මැයි 18 වැනිදා ආරක්ෂක අමාත්යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.
එහිදී පුහුණුවට යෑමට ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් පවුම් හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදලක් හා පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් විසිදාස් තුන්සිය හැට දෙකක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි, සාක්ෂිකරු සිය සාක්ෂියේදී සඳහන් කළේය.
එවක විනිමය අනුපාත අනුව පවුම හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්නයි.
යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ සේවය කළ වසර 10 කාල වකවානුව තුළ වැටුප් හා දීමනා ලෙස රුපියල් පනස් එක් ලක්ෂ පනස්දාස් හයසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව නාවික හමුදා නිලධාරී නුවන් තුෂාර සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.
නාවික හමුදා නිළධාරී දේවින්ද උදයකුමාර සාක්ෂි දෙමින් යෝෂිත රාජපක්ෂ 2009 මාර්තු 31 සිට 2015 වසරේ මාර්තු 31 දක්වා ඔහුගේ වත්කම් බැරකම් ප්රකාශ නාවික හමුදාවට ලබා දී ඇති බව කියා සිටියේය.
නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරී කණිශ්ක ගාමිණි සාක්ෂි දුන්නේය.
එහිදී ඔහු ප්රකාශ කළේ, 2003 නොවැම්බර් 10 වැනිදා යෝෂිත රාජපක්ෂ හැත්තෑ දෙදාස් හාරසිය හැත්තැවයි සත තුනක මුදලක් තැන්පත් කරමින් ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කර ඇති බවයි.
ඒ අවස්ථාවේදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විරෝධතාවයක් මතු කළේය.
නැවත රජයේ අධි නීතිඥවරයාගේ සාක්ෂි මෙහෙයවීමේ හමුවේ සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත කනිෂ්ක රාජපක්ෂ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුමෙන් 2016 වසර දක්වා මුදල් ආපසු ගැනීමක් සිදු කර නැති බවයි.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් එම අධිකරණයේ ලිපිකරු වන සෙනරත් බණ්ඩාර සාක්ෂි ලබා දුන්නේය.
නුගේගොඩ දිසා අධිකරණයේ හමුවේ ඩේසී ෆොරස්ට්ගේ දේපළ සම්බන්ධව විභාග වූ නඩුවක මුල් ගොනුව ආශ්රයෙන් එම සාක්ෂි විමසීම සිදුකළේය.
වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 යළි සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සෙසු සාක්ෂිකරුන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද අවවාද කළේය.
