නාමල්ට ඇප

නාමල්ට ඇප

by Staff writer 03-11-2026 | 10:43 PM

COLOMBO(News1st) - රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද නියෝග කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව සැකකරුවෙකු ඇප මත මුදා හැරීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව සැකකරු වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම තුළින් ඉදිරිපත් කර තිබෙන කරුණු සුවිශේෂී කරුණු ලෙස අධිකරණය පිළිගන්නා බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා  සැකකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින බව පැවසීය.

ඒ අනුව සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර තුනක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කෙරුණි.

තවත් ඇප කොන්දේසියක් පනවමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට කියා සිටියේ, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් හෝ ඔවුන්ට කිසිදු ආකාරයක අයුතු බලපෑමක් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසයි.

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුකරයට අදලාව සැකකාර නාමල් රාජපක්ෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එදින කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල  නොවැම්බර් 19 වැනිදා ඔහුව බන්ධනාගාර මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

ඒ අනුව අද දින ඇප හිමි වීමෙන් අනතරුව සැකකාර මන්ත්‍රීවරයා නැවතත් බන්ධනාගාරය වෙත බන්ධනාගාර නිළධාරීන් රැගෙන ගියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ ක්‍රිශ් සමාගෙන් සැකකාර 
මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව ගොනුව තිබේ.

නඩුවේ සැකකාර ක්‍රිශ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන මේ වනවිට නොවැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.