ගෝඨාභයගේ විදෙස් ගමන් තහනමේ නියෝගය ලබන 25ප්‍රකාශයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස් ගතවීමට කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 25 වැනිදා ප්‍රකාශයට

by Staff writer 04-11-2026 | 4:52 PM

COLOMBO(News1st) - පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(04) ප්‍රකාශ කළේ ය.

සිද්ධියට අදාළ ⁣හිටපු  ජනාධිපතිවරයා  සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැදුම්කරයක් මත මුදාහැරිමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වනු ලැබී ය.

සිද්ධියට අදාළව කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ක‍ළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ ගත වීම පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවය දක්වන බවයි.