අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්....

බෙංගාල බොක්ක යළි කැළඹෙයි, අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්....

by Staff Writer . 09-11-2026 | 9:09 AM

COLOMBO (News 1st) - ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, ලබන 11 වැනිදා පමණ වන විට කැළඹිලි ස්වභාවයක් නිර්මාණය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ News 1st දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

මේ අතර අද (09) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, අධික වැසි සමග නිල්වලා, ගිං, කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර සඳහන් කළේ ය.

ගතවූ පැය 24 තුළ වැඩි වර්ෂාපතනය මුලතිව්, වැලිඔය ප්‍රදේශයට ලැබී ඇත.

එම අගය මිලිමීටර් 142 ක්.

අවිස්සාවේල්ලට මිලිමීටර් 126ක වර්ෂාපතනයක්ද, කෑගල්ල දැරණියගලට මිලිමීටර් 118 ක වර්ෂාපතනයක්ද ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 10 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ අද පස්වරුවේ දක්වා මෙම අවදානම් නිවේදනය ක්‍රියාත්මක බවයි.

බදුල්ල,කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි.