චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන නෑ

පී.එස්.එම් චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීම ජනපති මෙතෙක් පිළි‌ගෙන නෑ - ජනාධිපති කාර්යාලය

by Staff Writer . 29-01-2023 | 7:43 AM

COLOMBO (News 1st) - පී.එස්.එම් චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සඳහා යොමු කළ ලිපිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පිළිගෙන නොමැති බව, ජනාධිපති කාර්යාලය පවසයි.

නිව්ස්ෆස්‍ට් කළ විමසීමකදී, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව, පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉකුත් 25 වැනිදා  ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, කිසිදු සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල වශයෙන් දැනුම්දී නොමැති බවයි.

එතුමා මේ බව සඳහන් කළේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට යළිත් වරක් මරණ තර්ජන එල්ල වී ඇත.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවයි.