ලෝක ගුරු දිනය අද මෙරටදී සැමරෙයි..

ලෝක ගුරු දිනය අද මෙරටදී සැමරෙයි.. ගුරු පුරප්පාඩු 45,000ක් - වෘත්තීය සමිතිවලින් චෝදනා..

by Staff writer 06-10-2023 | 7:02 AM

COLOMBO (News 1st) -  ලෝක ගුරු දිනය අද(06) මෙරටදී සැමරෙයි. 

මෙවර එහි තේමාව අපට අවැසි වන්නේ අධ්‍යාපනයට අවැසි ගුරුවරුන්ය. ගුරු හිඟය පියවා ගැනීම ගෝලීය අවශ්‍යතාවයකි යන්නයි.

හතලිස් තුන් ලක්ෂයකට අධික මෙරට පාසල් දරුවන් වෙනුවෙන් මෙරට සිටින රජයේ ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්ෂ 47 දහසකි.

මෑත කාලීනව මෙරට ගුරු ක්ෂේත්‍රය මුහුණු දී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ උග්‍ර ගුරු හිඟයයි.

45000 ක ගුරු හිඟය හේතුවෙන් පාසල් කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමට දැඩි බාධා මතුව ඇති බව වෘත්තිය සමිති පවසයි. 

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ , ගුරු හිඟයට විසදුම් සඳහා අමාත්‍යංශය මේ වනවිටත් පියවර රැසක් ගනිමින් සිටින බවයි.

ඒ අනුව උසස් පෙළ විද්‍යා හා ගණිතය විෂයන් මෙන්ම විදේශීය භාෂා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් 5450 ක් බඳවා ගැනීමට මේ වනවිට අයදුම් පත් කැඳවා තිබේ. 

මීට අමතරව මේ වසරේ විශ්‍රාම ගිය හා ඉල්ලා අස්වූ ගුරුවරුන් වෙනුවෙන් තවත් 4000 ක් කඩිනමින් බඳවා ගන්නා අතර අධ්‍යාපන වේදි උපාධිධාරින් 542 දෙනෙකු ද ගුරු සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.