ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය සැප්තැම්බර් ⁣ගෙවයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණය සැප්තැම්බර් ⁣ගෙවයි - බංග්ලාදේශ විදේශ ඇමති විශ්වාසය පළ කරයි..

by Staff writer 06-02-2023 | 7:08 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය, අබ්දුල් මොමන් මහතා මේ බව සඳහන් කර තිබුණේ, පසුගිය ඉරිදා එරට පුවත්පතකට අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය වර්තමානය වන විට යම් ස්ථාවරත්වයක් අත්කරගැනීමේ ප්‍රවණතාවක් පෙන්වන බව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා එම පුවත්පතට පවසා තිබේ.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් මහතා 75 වැනි නිදහස් සැමරුමේ ආරාධිත අමුත්තෙකු ලෙස ද පසුගියදා සහභාගී වූ අතර නිදහස් උත්සවයෙන් පසුව යළි බංග්ලාදේශය බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් මහතා පුවත්පතට පවසා ඇත්තේ නව රජය මේ වන විට රට යහපත් මාවතක් කරා ගෙන ගොස් ඇති බවයි.

විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වොප් පහසුකමක් ලෙස බංග්ලාදේශ මහ බැංකුව ශ්‍රී ලංකාවට මෙම මූල්‍ය පහසුකම ලබා දුන්නේ 2021 මැයි මාසයේදී ය.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙම ණය මුදල ගෙවීමට දී තිබූ කාලය අවස්ථා කිහිපයකදී කල් දැමුණි.

ඒ අනුව බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදල යළි පියවීම සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දී ඇති බව වාර්තා වේ.