අබුඩාබිහි ගින්නකින් ලාංකික කාන්තාවක් මරුට..

අබුඩාබිහි ගින්නකින් ලාංකික කාන්තාවක් මරුට..

by Staff writer 26-05-2023 | 6:58 AM

COLOMBO (News 1st) – අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියකි.

ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේ ය. 

මේ අතර, ගෘහ සේවිකාවක් ලෙස මලයාසියාවේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක්, මහල් නිවාසයකින් ඇද වැටී මිය ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එරට පිහිටි මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ ය. 

මේ දක්වා එවැනි මරණයක් පිළිබඳ නිශ්චිත තොරතුරු එරටින් ලැබි නොමැති බව ඔහු පැවසුවේ ය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, 42 හැවිරිදි විවාහක කාන්තාවක් එලෙස මියගොස් ඇති බව කොබෙයිගනේ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඇය ගෘහ සේවය සඳහා මලයාසියාවට පිටත්ව ගොස් තිබේ.