යාපනයේ අක්කර 187ක්, සිවිල් කටයුතු සදහා මුදාහැරේ.

සිමෙන්ති සංස්ථාවට අයත් යාපනයේ අක්කර 187 ක්, සිවිල් කටයුතු සදහා මුදාහැරේ.

by Staff writer 03-10-2026 | 8:25 AM

COLOMBO(News1st) - යාපනය, කන්කසන්තුරේ, සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 187.56 ක භූමි ප්‍රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා මුදා හැරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, අදාළ භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව උදා කර දී ඇති බවයි.

වලිකාමම් උතුර, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි එම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව  භාවිත කරනු ලැබී ය.

එම භූමිය මුදා හැරීමට අදාළ ලියකියවිලි පාලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඩබ්ලිව්. එම්. ඒ. එම්. නිස්සංක විසින්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

එම භූමි ප්‍රමාණය මුදා හැර ඇත්තේ, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙසයි.

ඒ හරහා ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද තවත් විධිමත් වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.