UN 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

by Staff writer 18-09-2023 | 7:13 AM

COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(18) ආරම්භ වෙයි. 

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ය.

මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාවෙන් ය.

සමුළුව ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිතයි.

ඊට සමගාමීව අද පැවැත්වෙන, තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇති.

ඒ අතරතුර ජනාධිපතිවරයා, විදෙස් රාජ්‍ය නායකයින් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට ද ජනාධිපතිවරයා සහභාගී වන බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.