විශේෂ මදුරු මර්දන සතිය අදින් ඇරඹේ...

දීප ව්‍යාප්ත විශේෂ මදුරු මර්දන සතිය අදින් ඇරඹේ...

by Staff writer 15-06-2026 | 8:56 AM

COLOMBO (News 1st) - දීප ව්‍යාප්ත විශේෂ මදුරු මර්දන සතිය අද (15) ආරම්භ වේ.

ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි.

පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය කරමින්, මෙම සතිය එළෙඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඒ අනුව අද , හෙට හා අනිද්දා  දින තුන තුළ, සියලුම පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවිර සඳහන් කළේ ය.

දින දෙකකට වඩා උණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද, වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්, 41 144 ක් වාර්තා වේ.

අදාළ කාලසීමාවේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව, 24 ක්.

දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74 ක, ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යාම හමුවේ රෝගීන් කළමණාකරයට අදාළ උපදෙස් වෛද්‍ය අංශ වෙත ලබාදී ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජයමුණි පවසයි.

ඔහු පැවසුවේ රෝගීන්ගේ රුධිර සාම්පල් ලබාගැනීමට සහ එහි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමටද අවශ්‍ය පියවර යොදා ඇති බවයි.

ඩෙංගු ​බවට සැකකෙරෙන සෑම රෝගියෙකුම වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයට ලක්විය යුතු බවත් වෛද්‍යවරයා ඉල්ලා සිටින අවස්ථාවල රුධිර සාම්පල ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ, ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.