නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන් - වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය

by Staff writer 08-09-2023 | 12:41 PM

COLOMBO (News 1st) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට 80% ක් පමණ අවසන් බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි පළමුවැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 850 කි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ , නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අති නවීන දොඹකර 12 ක් සවිකිරීම ව්‍යාපෘතියේ පළමු අධියරේදි සිදු කරන බවයි.

මේ අතර, කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම්ද මේ වනවිට 20% කින් පමණ අවසන් කර ඇති බව කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය. 

අදානි සමාගමේ ආයෝජනයක් වන ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 850 කි. 

ලබන වසරේ නොවැම්බර් මාසයේ එහි පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

නැගෙනහිර හා බටහිර පර්යන්ත ඉදිකිරීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 15 ක් දක්වා දෙගුණයකින් ඉහළ යන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.