සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් එකට

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් පළමු ස්ථානයට

by Hashini De Mel 21-03-2024 | 1:37 PM

COLOMBO (News 1st) - ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් ෆින්ලන්තය අඛණ්ඩව 7 වැනි වරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පළමු ස්ථානයට පත්ව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසිනි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් 130කට වැඩි සංඛ්‍යාවක දළ දේශීය නිෂ්පාදනය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්නභාවය, නිදහස, ත්‍යාගශීලිත්වය, දූෂණ සහගත නොවීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවයි.

මෙම ලැයිස්තුවේ පළමු රටවල් 10 බොහෝ දුරට සෑම වසරකදීම නොවෙනස්ව පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසයි. 

නමුත් 11 වැනි ස්ථානයේ සිට ඉහළට වෙනස්කම් පවතින බව ඔවුන් අවධාරණය කර ඇත. 

එක්සත් ජනපදය මේ වසදරේදී පළමු රටවල් 20 න් ඉවතට විසිවී තිබේ.

ඒ අනුව, ලැයිස්තුවේ 15වැනි ස්ථානයේ සිට 23 වැනි ස්ථානය දක්වා එක්සත් ජනපදය පහතට වැටුණි.

ප්‍රීතිමත්ම රටවල් දහයෙන් මිලියන 15කට වැඩි ජනගහනයක් සිටින්නේ, නෙදර්ලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පමණි. 

ෆින්ලන්යේ දාර්ශනිකයෙකු සහ මනෝවිද්‍යා පර්යේෂකයෙකු වන ෆ්‍රෑන්ක් මාර්ටෙලාට අනුව, එම ජනතාව සතුටෙන් සිටින්නේ ඔවුන්ට ප්‍රජාව සහ සම්බන්ධකම් පිළිබඳ දැඩි හැඟීමක් ඇති නිසාවෙන් බව විදෙස් මාධ්‍ය පැවසීය.

ආර්ථික සහයෝගීතාවය, අධ්‍යාපනය, පරිසරයේ ගුණාත්මකභාවය, සමාජ සම්බන්ධතා, ආරක්ෂාව සහ ජීවිත තෘප්තිය යන අංශවලින් ෆින්ලන්තය සාමාන්‍ය රටවල් අභිබවා ගොස් තිබේ. 

ෆින්ලන්තයේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 82ක් පමණ වන අතර එය කාන්තාවන් සඳහා අවුරුදු 85ක් වන අතර පිරිමින් සඳහා අවුරුදු 79ක් පමණ වේ.

ඒ අනුව, ලෝකයේ සතුටින්ම සිටින රටවල් 10 වන්නේ, 

1. ෆින්ලන්තය.
2. ඩෙන්මාර්කය.
3. අයිස්ලන්තය
4. ස්වීඩනය
5. ඊශ්රායලය
6. නෙදර්ලන්තය
7. නොර්වේ
8. ලක්සම්බර්ග්
9. ස්විස්ටර්ලන්තය
10. ඔස්ට්‍රේලියාව

විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන ඇති රටවල් 143 අතුරින් ඉන්දියාව 126 වන ස්ථානයට පත්ව සිටින බවයි.

ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව හිමිව ඇත්තේ 129වැනි ස්ථානයයි.

ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් 143 වැනි ස්ථානය හෙවත් අවසාන ස්ථානයේ රැඳී සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.