කේට් කුමරියට පිළිකාවක්..

කේට් කුමරියට පිළිකාවක්..

by Hashini De Mel 23-03-2024 | 1:11 PM

COLOMBO (News 1st) - තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇය ප්‍රකාශ කළේ, තමා පිළිකා රෝග විනිශ්චයෙන් අනතුරුව මුල් අවධියේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නමුත් ඇය ධනාත්මක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඇය ශක්තිමත්ව සෑම දිනකම හොඳින් සිටින බවය.

තමා පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට භාජනය වූ බවත් එහිදී පිළිකා තත්ත්වයක්  ඇති බව නොදැන සිටි බවත් එම විඩියෝ ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත් ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයාගෙන ඇති අතර ඇයගේ වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ සඳහා ප්‍රතිකාරවලට යොමුවන ලෙසයි.     

කේට් කුමරිය වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රතිකර්මවල මුල් අදියරේ තමන් පසුවන  බවය.

වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කුමරිය ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය තමාට විශාල කම්පනයක් සිදුකළ බවයි.

පිළිකා රෝගයට මුහුණ දෙන සෑම කෙනෙකුම කුමන ආකාරයේ වුවද බලාපොරොත්තු නැති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

අනාගත ඔටුන්න හිමි බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් 2011 වසරේ දී විවාහ වූ අතර මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මවකි.