බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකාවට ජය..

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 03-04-2024 | 12:10 PM

COLOMBO (News 1st) - සත්කාරක බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගෙන තිබේ.

ඒ, චොටොග්‍රාම්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජය ගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531 ක් රැස් කළේ ය.

බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිමට රැස් කළ හැකි වුණේ ලකුණු 178ක් පමණි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේ ය.

පන්දුවාර 40ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළ ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවුයේ බංග්ලාදේශයට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි.

බංග්ලාදේශ කණ්ඩායම අද දිනට තරගය ආරම්භ කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරගෙන සිටියේ ය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ‍මෙහෙදි හසන් සහ තයිජුල් ඉස්ලාම්ය.

මෙහෙදි හසන් අද රැස් කළේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ 6වැනි අර්ධ ශතකයයි.

බංග්ලාදේශ ඉනිමේ 8වැනි කඩුල්ල ලෙස තයිජුල් ඉස්ලාම් ලකුණු 14කට දැවී ගියේ ය.

හසන් මහමුද් ලකුණු 6යි.

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ බංග්ලාදේශ දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල ලෙස කලීඩ් අහමඩ් ලකුණු 2කට දැවී ගියේ ය.

ඒ අනුව ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 318ක් පමණි.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකම කමිදු මෙන්ඩිස් දිනා ගත්තේ ය.