වාර්තා අතරට එක් වෙමින් ඔලිම්පික් යන විරේන්

වාර්තා අතරට එක් වෙමින් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගනී.....

by Staff writer 17-04-2024 | 10:13 PM

COLOMBO (News 1st) - බැඩ්මින්ටන්  ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට  සුදුසුකම් ගැනීමට සමත් විය.

ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන  මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය  මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී විය.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාධන මට්ටම  පසුකර ඍජු ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ඊට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් අතරින් 32 වැනි ස්ථානයට පත් වෙමිනි.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී  ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම  බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද, විරේන් වාර්තා අතරට එක් විය.

2012 වසරේදී නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහ.