ICC ක්‍රිකට් විකාශන අයිතිය MTVයට..

ICC ලෝක ශූරතා 4ක් ඇතුළු තරගාවලි 6ක් සඳහා දේශීය විකාශන අයිතිය MTV වෙත ලබාදෙයි..

by Staff writer 12-04-2024 | 5:15 PM

COLOMBO (News 1st) - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මගින් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලිවල මෙරට විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගම වෙත ලබා දී ඇති බව අද (12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පවසන්නේ, ලබන වසර අවසානය දක්වා පැවැත්වෙන තරගවල විකාශන අයිතිය මෙලෙස ප්‍රධානය කළ බවයි.

මෙරට ක්‍රීඩා ලෝලීන්ට සිරස TV, ශක්ති TV, TV1 හරහා තරග නැරඹිය හැකි අතර අන්තර් ජාලය හරහා නැරඹීමේ අවස්ථාව www.sirasatv.lk වෙබ් අවකාශය හරහා ලැබෙනු ඇති.

ඒ අනුව, ලබන වසර අවසානය දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන තරග වන්නේ  2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වයස 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය හා 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

MTV චැනල් පුද්ගලික සමාගම සමග අත්වැල් බැඳගැනීම ගැන සතුටු වන බවත් මේ හරහා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වශයෙන් ප්‍රේක්ෂකයින් ඇද ගැනීමට හැකිවනු ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා පවසයි.

කැපිටල් මහාරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සඳහන් කරන්නේ, දශක ගණනක් ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳීසිටි ආයතනයක් ලෙස ඉදිරි වසර දෙක සඳහා විකාශන අයිතිය ලැබීම ගැන සතුටු වන බවයි.

එසේම එමගින් ප්‍රේක්ෂකයින්ට ගුණාත්මක ක්‍රීඩා අත්දැකීමක් ලබා දිය හැකි බව ද වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.