ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්?

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනපතිගෙන් මෙතෙක් නිෂ්චිත පිළිතුරක් නැහැ...- පොදුජන පෙරමුණ

by Staff writer 15-05-2024 | 5:51 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන් බව පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණ සඳහන් කළේ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

මේ වනවිට දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ඡා වට ගණන 7 කි.

පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ද ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 26 වැනි දා ආරම්භ වේ.

ඒ, අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙනි.

එතැන් සිට ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.