.webp)
 (5)-624233.jpg)
ඒ, අද (21) උදෑසන වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසුවයි.
කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද කැඳවනු ලැබුවේ ය.
එම අවස්ථාවේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය ද, විමල් වීරවංශ පෙනී සිටියේ නැත.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නඩුව, ඔක්තෝබර් 19 වැනිදා විභාග කිරීමට නියම කළේ ය.
සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා එහිදී වරෙන්තු නිකුත් කළේ, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතීසි ද නිකුත් කරමිනි.
වරෙන්තු නියෝගය නිකුත් කර සුළු වේලාවකට පසු, විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, වාහනයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ හේතුවෙන් වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම හෙට (22) සිදුකරන්නැයි අවවාද කළේ ය.
එම නඩුව පවරා ඇත්තේ, 2016 පෙබරවාරි 6 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල හන්දිය ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් විරෝධතාවක නිරත වීමට එරෙහිවයි.
කුරුඳුවත්ත පොලීසිය එම නඩුව පවරා තිබේ.
ඒ, මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමිනි.
