සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද වයඹ පළාතේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

by Staff writer 15-05-2024 | 5:34 AM

COLOMBO (News 1st) - හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා වයඹ පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.

නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් සඳහා ලබා දිය යුතු දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කර නොමැති වීමත් විශේෂිත දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේකය නිකුත් කිරීමේදී කණ්ඩායම් 15ක් මගහැර චක්‍රලේකය නිකුත් කිරීමත් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා උතුරු මැද පළාතෙනි.