ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් යෝජනා කරයි

ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමට කමිටුවක්...

by Staff Writer . 17-07-2024 | 10:09 PM

COLOMBO ( News 1st ) - ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර තිබේ.

එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමට ද යෝජනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

ප්‍රචාරක රැලියක් අතරතුර ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට නියමිතය.

කමිටුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද ඇතුළත් වේ.

ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු මට්ටමේ නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට ද යෝජනා කර තිබේ.

මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් ය.